Wednesday, October 3, 2018

අපේ දත්ත විකිණෙන හැටි



මුලින්ම කියන්න ඕනේ, මේ ලිපිය මුලින්ම මම android වැඩකාරයෝ ෆේස්බුක් පිටුවේ පල කරපු බව. ඒ ලිපියම පොඩි පොඩි සංශෝධන සහිතව මෙතන පල කරන්නම්.

හැමෝම මේ දවස්වල නොමිලේ රීලෝඩ් දෙන app ගැන කතාකරන නිසා මම දන්නා දේවල් ටිකක් කියන්න හිතුනා. මේ ගැන දැනගන්න කැමති අයට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා හිතනවා.

දැන් මේ කියන්න යන්නේ නොමිලේ දෙන දේවල් ගැන නේ. ඇත්තටම අපි අන්තර්ජාලය භාවිතා කලාට, ඔයාල නොදන්නවා ඇති, අපි මේ ඉන්නේ ලෝකයේ තියන ලොකුම ව්‍යාපාරයක් ඇතුලේ. එතකොට ඇත්තටම අපි මේ කරන්න එක්තරා විදිහකට ලෝකේ ලොකුම Shopping Mall එකේ සැරිසරන එක වගේ වැඩක්.





හරි අපි හැමෝම දන්නා උදාහරණයක් ගමුකො. මුහුණු පොත, එහෙම නැත්නම් facebook. ෆේස්බුක් කියන්නේ සමාජ ජාලය කියන ලේබලය අලවගත්ත ව්‍යාපාරයක්.  එතකොට අපි මතක තියාගන්න අවශ්‍යයි, අපි ඇත්තටම එයාලගේ ව්‍යාපාරයේ කොටසක් බව. දැන් අපි හිතමු ෆේස්බුක් එකේ සේරම දේවල් නිකම් දෙනවා කියලා. එතකොට කල්පනා කරන්න, ෆේස්බුක් ආයතනය පවත්වාගෙන යන වියදම, එතකොට ලයිට් බිල්, සර්වර් වල වියදම්, මේවා හොයා ගන්නේ කොහොමද? සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද? කවුරුත් සල්ලි දෙන්නේ නැත්නම්...  එහෙම නම් හිතන්න වෙනවා මේ ආයතනය සල්ලි හොයන ක්‍රමයක් තියනවා අපිට මේ දේවල් නිකම් දෙන ගමන්..

ඔන්න එතකොට තමයි මාතෘකාව එලියට එන්නේ.  මේ හැම දෙයක්ම පදනම් වෙන්නේ දැන්වීම් මත, සරල මට්ටමේ ඉඳල සංකීර්ණ මට්ටම වෙනකල්. දැන් ඔයාල හිතන්නකෝ පත්තරේ දැන්වීම් දාන්නේ, වියදම කවර කරගන්න. නමුත් ඒ වගේ නෙවෙයි ඉන්ටර්නෙට් එකේ දැන්වීම් වැඩකරන්නේ. පත්තරේ දැම්මොත් දැම්මා. වෙනස් කරන්න බැහැ. ඒත් ඉන්ටර්නෙට් කියන්නේ බොහොම සජීවී මාධ්‍යයක්. ඒ නිසා මෙතැනදී පරිශීලකයා හැසිරෙන විදිහ අවබෝධ කර ගත්තොත් එයාට ගැලපෙන දැන්වීම් එවන්න පුළුවන්. ඒක නිසා පරිශීලක දත්තවලට තියෙන්නේ ඉහල ඉල්ලුමක්. මොකද එතකොට හරි කෙනාට හරිම දැන්වීම ලබාදෙන්න පුළුවන්.

නමුත් ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි, අපේ අවසරයකින් තොරව ඒ දත්ත ලබාගන්න හැකියාවක් නැහැ කියන එක. ඒ නිසා තමයි අන්තර්ජාලයේ තියන හැම වෙබ් සයිට් එකක්ම, හැම සොෆ්ට්වෙයා එකක්ම එවන්නේ license agreement සහ privacy policy කියන දේවල් එක්ක. මේවයේ තියෙන්නේ ඒ ආයතනවලින් අපිට ඉදිරිපත් කරන කොන්දේසි. ඒවා බහුතරය පිටු ගණන් දිගයි. අපි ඒවා අනුමත කරන්නේ කියවල නෙවෙයිනේ. අපි මේවා අනුමත කළා කියන්නේ අපේ දත්ත ලබාගන්න අපි අවසර දෙනවා කියන එක. ඒ නිසා තමයි මේ license agreement සහ privacy policy අනුමත නොකර කිසිම දෙයක් අපිට පරිගණකවල ක්‍රියාත්මක කරන්න බැරි.

දැන් පැහැදිලිද. මේ තියෙන්නේ සමිකරණයේ එක පැත්තක් විතරයි. නමුත් දැන් බයවෙන්න එපා. මේ විදිහට ඒ ඒ ආයතනවලින් ලබාගන්නේ පොඩි දත්ත ප්‍රමාණයක් විතරයි. සහ ඒවායින් අපිට වෙන බලපෑම අවමයි. දිගටම කියවලා සම්පුර්ණ කතාව තේරුම් ගන්නකො. එතකොට හරි.

ඔන්න දැන් අපේ දත්ත මේ සමාගම් ගන්නවා, සරල දත්ත, අපේ පෞද්ගලිකත්වයට හානි නොවෙන දත්ත තමයි මූලිකව ගන්නේ. දැන් මේ දත්තවල තියනවා මෙන්න මේ දේවල්, මම උදාහරණයක් විදිහට ගන්නම් ගුගල් ආයතනයෙන් එකතු කරන දත්ත. මෙන්න මේ වගේ දේවල් තමයි ඇතුලත් වෙන්නේ.
(මේ උදාහරණයක් විතරයි. ඇත්තටම මීට වඩා දත්ත ඇතුලත් වෙන්න  පුළුවන්.)
  • අපේ ඊමේල් ලිපිනය,
  • අපේ වයස
  • අපි ඉන්න තැන 
  • අපි වැඩියෙන්ම ඔන්ලයින් ඉන්න වෙලාව (ඒ වෙලාවටනේ ඉතින් දැන්වීම් එවන්න ඕනේ..)
  • ඒ වෙලාවේ අපි වැඩිපුරම යන එන තැන්
  • අපි වැඩියෙන්ම හොයන දේවල් (search history)
මේ  වගේ දේවල් එයාල සටහන්කර ගන්නවා. ඊට පස්සේ ඒ අනුව තමයි අපට ගැලපෙන විදිහට දැන්වීම් එවන්නේ. එතකොට ඒ දැන්වීම්වල තියන සාර්ථක බව වැඩියි, එක ඉතින් ඔයාට පැහැදිලියිනෙ. උදාහරණයකට අපි google එකේ ලැප්ටොප් ගැන හෙව්වා නම්, ඊළඟට අපි යන එන වෙබ්සයිට්වල වැඩිපුරම පෙන්නන්නේ ලැප්ටොප් සම්බන්ධ දැන්වීම් තමයි. එහෙම නැතිනම් අපි රට යන්න විස්තර හෙව්වා නම්, ඊළඟට අපිට ගුවන්යානා සමාගම්වල අඩුම ටිකට් ගාස්තු ගැන දැන්වීම් එනවා. (මතක් කරලා බලන්න ඔයාට එහෙම වෙලා නැද්ද කියලා. එහෙම මතකයක් නැත්නම් ඊළඟ දවස් කීපයේ අවධානයෙන් ඉඳලා බලන්නකෝ.)  මේ සේරම වෙන්නේ අපේ දත්ත පදනම් කරගෙන. මේ කිව්වේ නිත්‍යානුකුලව, සාධාරණ විදිහට දත්ත එකතු කිරීම ගැන. එතකොට මේ දත්තවල අපිව හරියටම හඳුනාගන්න පුළුවන් දත්ත නැහැ. මොකද ඒවා සාමාන්‍යයෙන් ඉවත් කරනවා.

දැන් කියන්න යන්නේ කතාවේ ඉතුරු කොටස. ඔයාල දන්නවානේ මේ හැම සමාගමක්ම පන්නන්නේ ලාබය පස්සේ කියන එක. මේ සේරම බිලියන ගණන් ලාබ උපයන සමාගම්. ඉතින් ඒ නිසා ඒ අය  අපෙන් ඔය විදිහට පොඩි පොඩි දත්ත ගත්තට, තව ගොඩක් විදිවලින් අපි ගැන විස්තර හොයනවා. ඒකට ඒ අය අපි හිතන්නෙවත් නැති උපක්‍රම යොදාගන්නවා. මේ ඒවායින් කීපයක්.
  • අපේ කටහඬ පටිගත කිරීම
  • අපි යන එන තැන් සටහන් කරගැනීම
  • අපි යන එන වෙබ් අඩවි සටහන් කරගැනීම.
  උදාහරණයකට ගුගල් සමාගමට විරුද්ධව චෝදනාවක් පවා තිබුනා අපේ ස්මාර්ට් ෆෝන් එක හරහා අපි කතා කරන දේවල් පවා පටිගත කරනවා කියලා. ඒ වගේම අපේ gps track කරනවා කියල. මේවා බොරු නෙවෙයි යාලුවනේ. ඒත් ඒ අය ඒවා නවත්වන්නේ නැහැ. මොකද අපි ගැන ඉගෙනගන්න තරමට තමයි ඒ අයට අපිව පොළඹවන්න පුළුවන් දැන්වීම් එවලා ලැබ උපයන්න පුළුවන්. එහෙම නැතිඋනොත් ඒ අයට පාඩුයි. අපිත් ඉතින් අපිට නිකන් ලැබෙන නිසා මේ හැමදේම පාවිච්චි කරනවා. ඒක තමයි තත්වේ. ටිකක් බය හිතෙන දේවල් කීපයකුත් කියන්නම් ඒ ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න.

ෆේස්බුක් සමාගමට චෝදනාවක් එල්ල උනා අවුරුදු කීපයකට කලින්, ෆේස්බුක් දත්ත උදව් කරගෙන විවිධ මානසික පර්යේෂණවලට මිනිස්සුන්ව යොදාගන්නවා කියලා. ඒක ඇත්ත බව සමාගමෙන් පිළිගත්තා.

ඇවාස්ට් සමාගමට චෝදනාවක් එල්ල වුනා වසර කීපයකට කලින්, වයිරස් ගාඩ් එක හරහා ස්කෑන් කරන සමහර ෆයිල්ස් එයාලගේ සර්වර් වලට අප්ලෝඩ් කරගන්න බවට. නමුත් ඒ විදිහට දත්ත එකතු කරන බව ඒ අයගේ privacy statement එකේ සඳහන් වෙන නිසා ඒ අයට කිසිම චෝදනාවක් එල්ල කරන්න  බැහැ. ඔන්න ඕක තමයි තත්වේ.

ඔන්න දැන් අපි එන්න යන්නේ තවත් ටිකක් ඉස්සරහට. දැන් අපි වැඩේ දන්නා නිසා ටිකක් සංකීර්ණ දේවල් ගැන කතා කරමු. දැන් අපි දන්නවනේ ලොකු ලොකු ආයතනවලට අපේ දත්ත කොච්චර වටිනවද කියලා. ඒ නිසා එයාල කොතරම් වියදම් වුනත් ඒ දත්ත ගන්නවා. ඉතින් මෙතැනදී තමයි, හැකර්ලට තැන එන්නේ. එයාල කරන්නේ අනවසරයෙන් අපේ දත්ත අරගෙන ලොකු සමාගම්වලට මිලියන ගණන්වලට විකුණන එක. ඉතින් මේ විදිහට කරන්න නම් ඒ අයට දත්ත ගන්න විදි තියෙන්න එපැයි. ඉස්සර නම් ඒවා ලේසි නැහැ. නමුත් දැන් තාක්ෂණය දියුණු වෙන වෙගේත් එක්ක හරිම ලේසියෙන් ඒ දේවල් කරන්න පුළුවන්. අද අපේ දත්ත ගන්න ඒ අයට පුළුවන් ලේසියෙන්ම,
උදාහරණයකට ලස්සන app එකක් විදිහට පෙනී ඉඳලා, අපිට මොකක් හරි ප්‍රොමෝෂන් එකක් ලබාදීලා ඒ හරහා අපේ දත්ත ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එයාල අපිට හොරා අපේ දත්ත අරගෙන විකුනනවා. මේක අද ලොකු ව්‍යාපාරයක්. dark web ගැන දන්නා අය දන්නවා ඇති, ඕනේ තරම් මේ විදිහට ගත්ත දත්ත ඒකෙ විකුනන්න තියනවා කියන එක.

දැන් අපි බලමු කොහොමද මේ අය  මේවා කරන්නේ කියලා. මම මේ කියන්නේ එක විදිහක් ගැන විතරයි. මම කලින් කිව්වා නේද අපේ දත්ත ගන්න නම් අවසරය අවශ්‍යයි කියල. ඒ කිව්වේ අපිට දැනුවත් කිරීමක් කරන්න ඕනේ අපේ දත්ත ගන්නවා කියලා. හැබැයි ඒකට හැම වෙලේම privacy statement යොදාගන්න බැහැ. මොකද ඒක ප්‍රායෝගික නැති නිසා. මෙහෙම හිතන්නකෝ, අපි phone ඒකෙන් app ඉන්ස්ටෝල් කරන හැමවෙලේම මෙහෙම privacy statement කියව කියව ඉන්න ගියොත් එහෙම කවුරුත් කිසි දෙයක් ඉන්ස්ටෝල් කරන එකක් නැහැ. ඇයි ඉතින් එපා වෙනවනේ.

අන්න එතැනදී තමයි permissions කරලියට එන්නේ. කිසියම් app එකකින් අපේ දුරකතනයේ යම්කිසි දත්තයක් ලබාගන්න එහෙම නැත්නම් යම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න නම්, ඒකට අපේ අවසරය ලබාගන්න තමයි මේ විදිහට permission management හදලා තියෙන්නේ. එතකොට අපිට අකමැතිනම් මේ අවසරය නොදී ඉන්න පුළුවන්. මුල් කාලේදී මේ ගැන එතරම් අවධානයක් යොමු වුනේ නැති වුනත් පසු කාලීනව මේ ගැන ගොඩක් අවධානය යොමු වුනා.
ඒත් අවාසනාවකට androidවල මේ permissions management ගොඩක් ශක්තිමත් වෙලා තියෙන්නේ බොහොම මෑතකදී. ගොඩක් පරණ versionවල මේ පහසුකම හරියට ක්‍රියාත්මක නැහැ. එතැනදී වෙන්නේ එකවර සේරම permissions ඉල්ලන එක. අනුමත කලොත් ඉතින් app එක දාගන්න පුළුවන් නැත්නම් බැහැ.  එතකොට ඔයාට පැහැදිලි ඇති, පරණ version එකකට compatible වෙන විදිහට app එකක් හැදුවාම, ලේසියෙන්ම පුළුවනි අවශ්‍ය permissions එකවරම ලබාගන්න. එතන ඉඳලා ඉතින් තත්පර කීපයක් ඇතුලත අපේ සේරම දත්ත ලබාගෙන අවසන් වෙනවා. ඉතින් ඔය ටික කරගන්න රුපියල් 200ක් අපේ ෆෝන් එකට දැම්ම කියල සත පහක පාඩුවක් නැහැ.

ඒ වගේමයි මේ වගේ app වලට පුළුවන් අපේ ෆෝන් එක හරහා cryptocurrency mine කරන්න. ඒ කිව්වේ අපේ දුරකතනයේ තියන සම්පත් ඒ කිව්වේ බැටරි බලය, මතකය, ධාරිතාව වගේ දේවල් අවභාවිතා කරලා සල්ලි හොයන්න. ඉතින් මේකේ තියන භයානකබව ඔයාලට දැන්වත් පැහැදිලි ඇති කියලා හිතනවා.

ඒ වගේම මේ app permissions අවභාවිතා කරන ඔයාල හිතන්නෙත් නැති අවස්ථා තියනවා. උදාහරණයකට අපි කියමු ඔයා flashlight app එකක් දාගත්තා කියලා. එතකොට ඔයා දෙන්න අවශ්‍ය camera permission විතරයි. මොකද flashlight එක සම්බන්ධ camera එකට නිසා. ඒත් play store එකේ තියන සමහර flashlight app මුළු ෆෝන් එකේම තියන permission ඉල්ලනවා. ඉතින් හිතාගන්නකෝ මොකටද කියලා. උදාහරණයකට flashlight app එකට මොකටද ඔයාගේ call history, contacts, connection details, location? හිතල බලන්නකෝ.
අපේ ගොඩක් අය කරන්නේ ඔහේ හොයන්නේ බලන්නේ නැතිව සේරම නෙක්ස්ට් කරගෙන යන එක. මොකක්හරි අවුල් උනාම තමයි ඉතින් දෙලෝ රත්වෙන්නෙ.
මේ මේ දේවල් අඩු කරන්න තමයි දැන් google play protect කියලා අලුතින් ක්‍රමවේදයක් එකතු කරලා තියෙන්නේ. එතැනදී වෙන්නේ සක සහිත app play store ඒකෙන් අයින් කරන එක. ඒත් ඒක ටිකක් කාලයක් යනවා වැඩ කරන්න. සමහර වෙලාවට app එකක් දාපු දවසෙම මිලියන ගණනක් ඩවුන්ලෝඩ් වෙනවා. play protect එනකොට වෙන්න තියන දේවල් වෙලා ඉවරයි.

 ඔය කරුණු ටිකත් එක්ක මේ කරුණත් කියන්න අවශ්‍යයි. දැනට තියන මොබයිල් os වලින් ආරක්ෂිතයි කියලා පිළිගන්නේ ios. හේතුව තමයි,  app එකකට මේ විදිහට දත්ත හොරකම් කරන්න තියන ඉඩකඩ ඉතාමත්ම සීමා සහිතයි.(ඒ කිව්වේ හොරකම් කරන්න බැහැ නෙවෙයි. සීමා සහිතයි කියන එක.) මොකද ios වලදී අපිට app එක අපේ දත්ත ඉල්ලන අවස්ථාවේදී තමයි permission ලබාදෙන්න අවස්ථාව දෙන්නේ. එතකොට අපිට අවශ්‍යනම් නොදී ඉන්න පුළුවනි.  ඒ වගේම ios වල backdoors නැහැ. ඒ කිව්වේ කිසිම හේතුවකින් දුරකතනයේ පරිශීලක දත්තවලට අනවසරයෙන් ඇතුළු වෙන්න අමාරුයි. ඒ අතින් ios ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ඒ වගේමයි ඔයාලට මතකද දන්නේ නැහැ ප්‍රංශයේ මාධ්‍යවේදී ඝාතන සිද්ධිය, ඒ වෙලාවේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවන් apple සමාගමෙන් ඉල්ලීමක් කළා ඇපල් දුරකතනයකට ඇතුල්වෙන්න මේ විදිහේ backdoor එකක් මෘදුකාංගයට patch කරන්න කියලා. ඒත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු apple ආයතනය ඒ ගැන මුළු ලෝකෙටම කිව්වා. ඒ නිසා ආරක්ෂාව අතින් ගත්තොත් නම් ඉතින් තේරීම ගොඩක් දුරට හරි. හැබැයි ඉතින් එහෙම කියලා කණගාටු වෙන්න එපා. මොකද මේ වෙනකොට android සෑහෙන දුරකට ඒ මට්ටමට ලඟා වෙලා තියනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම කිව්වොත් මේ වෙනකොට ios සහ android දෙකම එක සමාන මට්ටමක ඉන්නවා. එතකොට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි හරියට මොලේ පාවිච්චි කරන එක. මොකද ඔය මොන ආරක්ෂාව තිබුනත් මේ වගේ දේවල්වලට අහුවෙන අය ඕන තරම් ඉන්නවා.

දැන් මේ දේවල්වලින් බේරෙන්න, මේ දේවල් අවම කරගන්න පුළුවන් විදි කීපයක් ගැන කියන්නත් ඕනෙනේ.
පලවෙනි දේ තමයි, මේ ගොඩක් දේවල් සිද්ද වෙන්නේ නොමිලේ ලබාගන්න පාරිභෝගිකයන්ට. ඒ කිව්වේ ඉතින් හොයල බලන්නේ නැතිව නිකම් දෙන දේවල් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ඔයාලට පුළුවන් මේ ගොඩක් දේවල්වලින් බේරෙන්න subscription එකක් අරගෙන. මොකද මේ ආයතන තමන්ගෙන් මුදල් ගෙවලා සේවා ලබාගන්න අයට හොඳ සේවාවක් දෙනවා. කවුරුත් කැමති නැහැනේ සල්ලි ගෙවල කරදර ඔලුවේ දාගන්න.

ඒ වගේම ඔයාලට පුළුවන් තව දෙයක් තමයි non profit organization ඒ කිව්වේ ලාබ නොලබන ආයතනවලින් නිපදවන මෘදුකාංග යොදාගන්න. උදාහරණයකට ගුගල් වෙනුවට dukduckgo වගේ එකක් යොදාගන්න. ඒ අය පැහැදිලිවම කියනවා ඔයාලව track නොකරන බව. ඒ වගේම Firefox වල tracking protection සහිතවයි එන්නේ. මේ වගේ ගොඩක් මෘදුකාංග තියනවා. සමහර වෙලාවට මේවයේ ඔයාලට සමහර පහසුකම් අඩු වෙන්න පුළුවන්. ඒත් ආරක්ෂාව අතින් මේවා ඉහලයි. සහ ඔයාලගේ දත්ත මේ සමාගම්වලින් විකුනන්නේ නැති බවට සහතික කරන්න පුළුවන්. විශේෂයෙන්ම Mozilla ආයතනය ඒ ගැන ගොඩක් වැඩ කරනවා.  තමන්ගේ පෞද්ගලික දත්ත ගැන හිතනවානම් මේ වගේ මෘදුකාංග සහ සේවාවන් ගැනත් හිතන්න පුළුවන්.






ලිපිය මීට වඩා දික් කලොත් කවුරුත් කියවන එකක් නැහැ. ඒ නිසා මෙතනින් නවතින්නම්.
ලිපිය හොඳයි නම් කොමෙන්ටුවක් දාන්න.
ඉදිරියට තවත් ලිපි ලියනවා. දිගටම රැඳිලා ඉන්න.
කියෙව්වට ස්තුතියි. එහෙමනම් ඉතින්, ගිහින් එන්නම් ආයේ වෙලාවක තවත් අලුත් දෙයක් අරගෙන.

No comments:

Post a Comment